මුල් පිටුව

මුල් පිටුව
මෙම බ්ලොග් අඩවියේ අරමුණ ලාංකීය නූතන කවිය උදෙසා පුනර්ජීවනයක් ලබා දුන් කොළඹ කවිය පිළිබදව අපගේ ශක්ති ප්‍රමාණයෙන් සිංහල වෙබ් අවකාශය තුළ නව කියවීමක්, සංවාදයක් ඇති කිරීමයි. මෙය කිසිදු ආකාරයේ ශාස්ත්‍රීය කටයුත්තක් නොවන අතර කොළඹ කවි රසවිදීමට කැමති රසවතුන් උදෙසා අප්‍රකට කොළඹ කවි කියවීමට අවස්ථාවක් ලබා දීම අපගේ ප්‍රාථමික උවමනාවයි. ඒ පිළිබද සංවාදය කියවන ඔබට බාරය. .

Friday, May 24, 2013

සිදාදියේ කුළු මීමුන් වනන්තරයට රිංගා ගැනීම.

පී බී අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ වැඩිපුර ප්‍රසිද්ධියට පත් නොවූ එකකි. කොළඹ කවි කියවන්නට කැමති ඔබ වෙනුවෙනි මේ. 




තවුසාට වූ හදිය. 

දැහැනින් නැගුණු තවුසා දැක කුටිය ළඟ 
මගියෝ කියෙහි යුතු වෙසෙසින් යුතුව දිග 
සාමිනි අපට යා යුතු තව බොහොම මඟ 
දෙනු මැන රැයක් ඉන්නට පන්සලෙහි ලැග 

අතහැර මිනිස් වාසය නිදහස පැතුව 
මම මෙහි සිටින්නෙමි සිත සොම්නස යුතුව 
මට ඉඳ පුරුද්දක් නැහැ කරදර ඇතුව 
දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ නැතුව 

ගොළුවන් වගේ කරබා මුල්ලකට වෙලා 
ඉන්නට හැකිය සුසුමක්වත් වැඩිය නොලා 
අපි මොන තරම් සංවර වෙන්නෙමුද බලා 
ඉඩ දෙනු මැනවි කී විට ඒ නඩෙහි මුලා 

තවුසා කුටිය එක මුල්ලක ඉඩ දුන්නේ 
පිම්බා ලෙසින් මීයට නිහඩව උන්නේ 
පැයකට පමණ පසු කවුරුත් කොදුරන්නේ 
ඇතමුන් තව්සගේ ඵලවැල ටික කන්නේ 

බණ බාවනාවට කරදර ඇතිඳු ඉතා 
තවුසා සිටියි මුල්ලක එරමිණිය ගොතා 
මගියෝ ලැබුණු නිදහස තව දුරට පතා 
තුන් මුල්ල්ක්ම අත් කරගෙන කරති කතා 

මගියෝ සිටිති දැන් කුටියෙහි සියළු තැන 
කතිකා කරති වියහියදම් ගමන් ගැන 
මුව සම පවා තව්සා සතු පැහැර ගෙන 
ඔහු රෑ තැවෙන හැට් කුටියෙන් පිටට පැන 

තවුසගෙ තව්ස් පිරිකර ටිකවත් නැත්තේ 
කෙණ්ඩිය පත්කඩය මිදුලේ එළි පත්තේ 
අදුරේ මහා කලබල ගතියක් ඇත්තේ 
ඒ මදිවාට කවුදෝ ගුටි කෙළ ගත්තේ. 

මැසි මදුරුවන්ගේ විස දළ තුඩු පාවා 
තවුසා සීතලේ රෑ සට සට ගෑවා 
මගියෝ ගියහ තවුසා කුටියට ආවා 
තිබුණා මිනී තුන හතරක් එහි බාවා 

පීබී අල්විස් පෙරේරා විසින් ලියන ලැබූ අවසාන කවි පෙල යැයි සැලකෙන මෙම කවි පන්තියෙන් පරිග්‍රහනය හසුකරගන්නා ලද සමාජ විවේචනය ගැන කතා බහ ඔබට බාරය. 

Wednesday, October 3, 2012

කුමාරගම හිටියානම්...


අනේ අද කුමාරගම හිටියානම්... 
(චූලානන්ද සමරනායකගේ දේශනයක්)

පැහැදිලිවම කවිය යනු සමාජ මැදිහත්වීමක්. කිසිම නිර්මාණකරුවෙකුට තමා වෙසෙන සමාජයේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලනමය තත්ත්වයන් අමතක කරන්නට හෝ ඉන් වියෝවී හුදකලා වන්නට ඉඩක් නෑ. ඒ නිසාම පසුගිය කාලය පුරාම පොදුවේ කවීන් මෙකී සාධකවලින් අනවරථ බැට කෑමකට ලක්වූ සමාජය විචාරයට බඳුන් කිරීමට දැක්වූ උත්සහය ප්‍රබල සංවාදයකට ලක් කළ යුත්තක්.
ඒත් මෙහිදී කවියාගේ සමාජ විචාරක භූමිකාව පිළිබඳව අවධානය යොමු කිරීම තුළ සෞන්දර්යවාදී කවිය ඉඳුරා බැහැර කළ යුතු යැයි කෙසේවත් සැලකෙන්නේ නැහැ. කවර අසීරු තත්ත්වයන් යටතේ වුවත්, මිනිසුන් විවිධ රසභාවයන් අත් විඳිනවා. සෞන්දර්ය නිමේෂයන්හි පහස ලබනවා. ප්‍රේමයේ, විරහවේ ගැලෙනවා. ඒ සියල්ලම කවියට අදාළයි. ඒත් මම මෙහිදී කියන්නේ ඒ සැමදේම මැද අද දවසේ අපට කාලකණ්ණිකම උරුම කෙරෙනා සමාජ ක්‍රමයක විය ගසේ පීඩනයෙන් ගැලවීමට කවියාට නොහැකි බවයි. එසේම, එම සමාජයට එරෙහිව නැගෙනා කවියාගේ උස් හඬ තුළත් ඊටම ආවේණික සෞන්දර්යයක් තිබෙන බවයි. ඒ සියල්ලටම වඩා කවියා සතු දෘෂ්ටිමය පොහොසත් බව ඉතා වැදගත් බවයි.
අද අපි ඉන්නේ ශීලාචාරකම ගැන මහ ඉහළින්ම කතා කරන යුගයක. ශීලාචාර ආමන්ත්‍රණ පිළිබඳව උපරිම සැලකිල්ල දක්වන යුගයක. ඒත් මේ ශීලාචාරකමේ දවටනය තුළින් එළියට පෙනෙන අශිලාචාරකමේ නිරුවත කෙතරම් ජුගුප්සාජනක ද? මෛත්‍රිය දේශනා කරන මුවින්ම, අනිකා හැඳි ගෑවෙන්නට ගම්මිරිස් අඹරන්න වරෙව් යයි කියන්නේ කොහොම ද? මේ වගේ සරල උදාහරණ මොන තරමක් තියෙනව ද? ගැමි සෞන්දර්යය ඉතා ප්‍රබලව දැක්වූවා යැයි විචාරයට ලක්වෙන විමලරත්න කුමාරගම කවියා “තෙරුවන් සරණ යාම” මැයෙන් ලියූ කවියෙන් මේ දෙබිඩි ස්වරූපය ඉතා හොඳින් නිරූපණය කරනවා. හැබැයි, ඔහු අද මේක ලිව්වනම් ඔහුට ලොකු සදාචාර අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙන්න තිබුණා.
කවියා යනු සීමා මායිම් මැද කොටු කළ හැකි අයෙක් නෙවෙයි. ඔහු තමන්ගේ යුගය තුළ තමන්ගේ සමාජය සමඟ ගැවසෙන පිය මනින කෙනෙක්. එහෙත් ඔවුන් අන් අය දකින දෑ මෙන්ම අන් අය දකින දෙයෙහි ඔවුන්ට නොපෙනෙන පැත්තක් දකිනවා. ඊට දක්වන ප්‍රතිචාරය තුළින් ඔහුගේ කවිය බිහිවෙනවා. ඔහු තමා ඉදිරියේ මවා ඇති සියලු ව්‍යාජ කඩතුරා ඉරා දමමින්, තමන් මත පටවා ඇති තමාට බරක් සේ දැනෙන නිර්මිත ලෝකය සිය කවිය තුළින් ඛණ්ඩනයට ලක් කරනවා. ඔහු මේ නිසා විටෙක සම්මත සමාජයේ කෝපයට ගර්හාවට ලක්වන අයුරින් සමාජ සම්මතයන් පුපුරුවා හරිනවා.
කවියා නිතරම පවත්නා සමාජ ක්‍රමය කෙරේ වන අතෘප්තිය හඟින්නෙක්. ඊට එරෙහිව නැගෙන්නෙක්. අතීත කවීන්ට මෙන්ම රත්න ශ්‍රී, පරාක්‍රම පරපුරට නන්දන වීරසිංහ වැන්නවුන්ගේ පරපුරට සහ ඉන් පසු සෑම පරපුරකටම ද මෙය පොදුයි. මිනිසාට මිනිසෙකු ලෙස සලකන ආකාරයේ සමාජ ක්‍රමයේ වෙනසක් ඇතිවන තුරුම මේ අතෘප්තිය එලෙසම පැවතීම අනිවාර්යයක්. එහෙයින්ම එම සමාජය තුළ වෙසෙන කවියාගේ හෘද සාක්ෂියේ හඬ විවිධ කාව්‍ය නිර්මාණ හරහා අපට අත්විඳිය හැකියි. ලංකාවේ විසූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු වන දයාසේන ගුණසිංහයන් පුවත්පත් කලාවෙන් කෲර ලෙස නෙරපනු ලැබූ පසුව ඔහු හඬ නැගූයේ කවියෙන්. ඔහුගේ මෙම කවිය අසූව දශකයේ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීමක්. අදත් අපි ඉන්නේ ඒ අයුරින් සමාජයේ හෘද සාක්ෂිය ප්‍රශ්න කළ යුතු යුගයක

Tuesday, October 2, 2012

කාසිය නිසා හෙතෙමේ නැවතුම් නැතුව සෙලවේ

කාසි 


මහරජුනගෙ මෙන්ම -නිවට කැත යදියන ගෙද 
පහස ලබනා එකියකි -කාසිය යනු ඇගේ නම 

කාසියක ඇත්තේ- මුහුණු එක නැතහොත් දෙක 
එහෙත් අත් දහයකි -කකුල් කෝටියකටත් වැඩිය 

සුන්දර සුරපුරය- මෙන් රුදුරු අවපුරයද 
කාසියක මැද්දෙන් -එක්වර බැලිය හැකි වේ 

මිනිසා විසින් ලොව -සොලවනු ලැබේ ඉදහිට 
කාසිය නිසා හෙතෙමේ -නැවතුම් නැතුව සෙලවේ 

බල්ල්ලොත් නොකන මුත් -කාසිය නිසා මිනිසකු 
බල්ලකු වීම සදහා වැඩි කාලයක් නොයැවේ 

කාසි සෑදෙන්නේ- රනින් රිදියෙන් තඹයෙන්  
කරදාසියෙන් හෝ නොව -දහදියෙනි මිනිසුන්ගේ 

උදුගොඩ නවරත්න 



Monday, October 1, 2012

මේ අඳුර , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව

ගුණදාස අමරසේකර තෝරාගත් පැදි. 
පහත දැක්වෙන්නේ අමරසේකර ලියූ 'අඳුර සහ බිය ' යන පද්‍ය පන්තියෙන් තෝරාගත් පැදි කිහිපයකි. 


අඳුර සහ බිය 

රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව 
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර 
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර 
ගලා එන විලාසය මසිත බියලන සුලුය 

ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ 
දවල් කොහොමද කියා සිතීමට මට බැරිය 
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග 
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව 

දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර 
එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ 
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන 
මේ අඳුර  , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව 

ගුණදාස අමරසේකර 

කුඩලිගම කවි

ගංඟාවේ ගීතය 

නිරසයි අතරමග අවහිර නොදුටු බිම 



කදු බෑවුමක දං බෝවිටි පදුරු තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින තළා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා 


සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතනදී හෝ මහ මුහුද හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට දෙමි

එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ

විසිරී යන පරිදි රන් සමණලුන් රොඳ
වනමල් පඳුරු දෙදෙරවමින් මුලින් අද
උඩ පැන පැන නටා ඇවිදින් ගිමන් සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද

සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
කේතකි ගුහා ,උක් කොටු වෙළ් එළි ඔස්සෙන්
හේ දඬු- බට පඳුරු නිල් ඕවිට අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්

මහ හඬ දිදී වස්දඩු තාලයට හඬා
කදුරැල් වලින් ඇද හැලෙමින් නොවිද විඩා
වන දෙව්ලියන්ගේ ගම්මානයක කුඩා
කැරකෙමි සිනා රැළි මතුකොට ඉවුරු කඩා

හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු බිම

එච්.එම් කුඩලිගම 


Sunday, September 30, 2012

කොළඹ කවි නැවත කියවීම

දොරකඩ අස්න

කොළඹ කවි නැවත කියවීම 


මෙම බ්ලොග් අඩවියේ අරමුණ ලාංකීය නූතන කවිය උදෙසා පුනර්ජීවනයක් ලබා දුන් කොළඹ කවිය පිළිබදව අපගේ ශක්ති ප්‍රමාණයෙන් සිංහල වෙබ් අවකාශය තුළ නව කියවීමක්, සංවාදයක් ඇති කිරීමයි. මෙය කිසිදු ආකාරයේ ශාස්ත්‍රීය කටයුත්තක් නොවන අතර කොළඹ කවි රසවිදීමට කැමති රසවතුන් උදෙසා අප්‍රකට කොළඹ කවි කියවීමට අවස්ථාවක් ලබා දීම අපගේ ප්‍රාථමික උවමනාවයි. ඒ පිළිබද සංවාදය  කියවන ඔබට  බාරය. .