මුල් පිටුව

මුල් පිටුව
මෙම බ්ලොග් අඩවියේ අරමුණ ලාංකීය නූතන කවිය උදෙසා පුනර්ජීවනයක් ලබා දුන් කොළඹ කවිය පිළිබදව අපගේ ශක්ති ප්‍රමාණයෙන් සිංහල වෙබ් අවකාශය තුළ නව කියවීමක්, සංවාදයක් ඇති කිරීමයි. මෙය කිසිදු ආකාරයේ ශාස්ත්‍රීය කටයුත්තක් නොවන අතර කොළඹ කවි රසවිදීමට කැමති රසවතුන් උදෙසා අප්‍රකට කොළඹ කවි කියවීමට අවස්ථාවක් ලබා දීම අපගේ ප්‍රාථමික උවමනාවයි. ඒ පිළිබද සංවාදය කියවන ඔබට බාරය. .

Monday, October 1, 2012

කුඩලිගම කවි

ගංඟාවේ ගීතය 

නිරසයි අතරමග අවහිර නොදුටු බිම 



කදු බෑවුමක දං බෝවිටි පදුරු තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින තළා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා 


සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතනදී හෝ මහ මුහුද හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට දෙමි

එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ

විසිරී යන පරිදි රන් සමණලුන් රොඳ
වනමල් පඳුරු දෙදෙරවමින් මුලින් අද
උඩ පැන පැන නටා ඇවිදින් ගිමන් සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද

සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
කේතකි ගුහා ,උක් කොටු වෙළ් එළි ඔස්සෙන්
හේ දඬු- බට පඳුරු නිල් ඕවිට අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්

මහ හඬ දිදී වස්දඩු තාලයට හඬා
කදුරැල් වලින් ඇද හැලෙමින් නොවිද විඩා
වන දෙව්ලියන්ගේ ගම්මානයක කුඩා
කැරකෙමි සිනා රැළි මතුකොට ඉවුරු කඩා

හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු බිම

එච්.එම් කුඩලිගම 


1 comment:

  1. ජීවන ගමන අර්ථවත් වන බවක් පෙන්නුම් කරන පද්‍ය පන්තියක් ලෙද මෙමට හැගේ ජීවිය තුළ අපට විවිධ වූ භාධක හමුවන අතර ඒවා ජය ගෙන හෝ මග හැර ඉදිරියට යාම ජීවත් වීම ලෙස මා දකිමි බාධක නොමැතිව ගලන ගගක් තුළ සොදුරු බවක් නොමැති සේම අභියෝග වලට මුහුණ නොදෙන්නාගේ ජීවිතය කිසිදු මතකයක් නොමැති නීරස එකක් බව මෙම කවියෙන් ගම්‍යය වේ

    ReplyDelete